

නාගදීප විහාරයේ ඉතිහාසය
නාග රජුන්ගේ සංග්‍රාමය
නාගදීප විහාරය යනු ශ්‍රී ලංකාවේ පූජනීය සොළොස්මස්ථාන අතරින් එකකි. වංශකතාවලට අනුව, බුද්ධත්වයට පත්වී වසර 5කට පසු එළඹෙන බක් මස අමාවක පෝය දින බුදුරජාණන් වහන්සේ මැණික් ඔබ්බවා සාදන ලද ආසනයක් වෙනුවෙන් චූලෝදර මහෝදර නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩියහ.
මහෝදර නාරජුගේ දියණිය සරණ පාවා දුන්නේ නැගණියගේ පුත් චුලෝදර නාරජුටය. ඔහුට දෑවැද්ද වශයෙන් වටිනා මිණිපළගක්(මැණික් පුටුවක්) ලැබුණු අතර නාග කුමරියගේ හදිසි මිය යාමත් සමග මහෝදර නාරජු සිය බෑනා වු චුලෝදරගෙන් මිණිපළග නැවත ඉල්ලා සිටියේය. එහෙත් චුලෝදර නාරජු එය ආපසු දීමට අකමැති වීම හේතුවෙන් ඔවුන් අතර දරුණු යුද්ධයක් ඇතිවන්නට කරුණු යෙදුනි.
බුදුරජාණන් වහන්සේ නාගදීපයට වඩිනු සදහා පිටත්වී දෙවිරම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිධි සුමන නම් දෙවියාද කැදවූ සේක. ඒ දෙව් රජ තෙමේ තමාගේ භවනය වු කිරිපලු රුක උදුරා බුදුන් වහන්සේට ජත්‍රයක් මෙන් අල්ලාගෙන තමා පෙර ජාතියේ විසු ස්ථානය වන නාගදීපයට පැමිණියේය. යුද්ධය පැවති පෙදෙසට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහසෙහි වැඩ හිද බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයින් හට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයින් සමගි වී ගැටුමට මුල්වූ මිණිපළග බුදුරජුන්ට පිදුහ.
බුදුන්ගේ වැඩසිටීමෙන් පාරිභෝගික වස්තුවක් බවට පත්වූ මිණිපළග(මැණික් පුටුව) තැන්පත්කොට ඔවුහු නාගදීප රාජායතන චෛත්‍ය තැනු අතර ඒ අසල රෝපණය කෙරුණු කිරිපලු නුග රුක සමිධි සුමන නම් දෙවියාගේ වාසස්ථානය බවට පත්විය.

නූතන ඉතිහාසය
මෙම විහාරස්ථානය ජනවාර්ගික ගැටුම් හා සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ අතර කිහිප වතාවක්ම ත්‍රස්ත ඉලක්කයන්ට පාත්‍ර වන ලදි. 1958 කැරැල්ලෙන් පසු බෝට්ටුවලින් පැමිණි ද්‍රවිඩ මැර පිරිසක් පන්සලේ සමහර කොටස් විනාශ කර බුරුමයෙන් තෑගි කරන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක හිස ගසා දමා අත් ඉවත් කර මුහුදට විසි කර, ස්ථූපය ඩයිනමයිට් යොදාගෙන පුපුරවා හැරියහ. මෙම පුවත තවදුරටත් ප්‍රචණ්ඩත්වයට තුඩු දෙනු ඇතැයි බිය වූ ආණ්ඩුකාර ජෙනරාල් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකයන්, රහසිගතව රජයේ නියෝග මත දේවමාළිගාව ප්‍රතිසංස්කරණය කළ අතර එවකට ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත බ්‍රහ්මනවත්තේ ධම්මකිත්ති තිස්ස මහානායක ස්වාමීන් වහන්සේද මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා එයට සහය දැක්වූහ. 1986 දී එල්ටීටීඊ ය විසින් පන්සලට ආහාර ගෙන එන බෝට්ටුවකට බෝම්බ දමා ජැටිය පුපුරුවා හැරියහ. නාවික හමුදා මුර සංචාරයකදී මෙම පිපිරීම සිදු වූ අතර කෝපයට පත් නාවික හමුදාව වෙඩි තැබීමේ වාතාවරණයක් ඇති කර ගත් අතර ධම්මක්ති හිමි විසින් එය වළක්වා සන්සුන් කර ඔවුන් ආපහු හරවා යවන ලදි. නිරන්තර තර්ජන හේතුවෙන් පන්සලට හමුදා ආරක්ෂාව ලබා දුන් අතර ප්‍රහාරවලදී ජ්‍යේෂ්ඨ භික්ෂූන් සඳහා බංකරයක් ඉදිකරන ලද අතර කණිෂ්ඨ භික්ෂූන් වහන්සේලාට නාවික හමුදාව විසින් ආත්මාරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා දෙන ලදි.
